Showing posts with label සිතුවිලි. Show all posts
Showing posts with label සිතුවිලි. Show all posts

30 November 2013

කම්මලේ සිහින



රත්වූ යකඩය නිවෙන්න මත්තෙන්
තලාපෙලා ගෙන එය මහ සද්දෙන්
කුසගිනි නිවන්න බාදක මැද්දෙන්
සමාවෙයන් කැඩුවට නුඹ නින්දෙන්

පුංචි පුතේ නුඹ ඉපදුන දා සිට
වගකීමක් වැඩිවිය මගේ ඔළුවට
පුංචි ගෙදර සුවසේ නිදියන්නට
බැහැ කම්මලේ මහ සද්දය එනවිට

නුඹ ගැනමයි නිතරම වද වෙන්නේ
මිල මුදලුයි මට හරහට ඉන්නේ
වැඩ නොකරොත් අපි කොහොමද කන්නේ
වැඩ කරොතින් කොහොමද නිදියන්නේ......

09 January 2013

පියාණෙනි.....


බටහිර අහසින් හිරු බැසයන මේ
සුන්දර සැන්දෑවේ....
ඇසෙනා බට ලී රාවය අතරින්
පියතුම ඔබ සිහිවේ....

පුංචිම කාලේ සුරතේ එල්ලි
සෙල්ලම් කල තාලේ..
අම්මත් සොයුරන් සමගින් සතුටින්
ගෙවුනා අපේ බාලේ..

නැගඑන හිරු ලෙස ඔබව දකින්නට
හැම දින පැතුවා නේ.. 
ඉපදෙන හැමටම උරුමය මරණය
මට තේරුනෙ නැහැ නේ....



20 December 2012

අප මෙහි ආවෙත් පණ ගෙන කුලියට ~ බුදු බණ අදහමු යන්නට නිවනට....



ඉර බැස ගිය කල අදුර නසන්නට
තරු මඩලක් සමගින් සද හෙමිහිට
නැගුනත් පෙරදා මෙන් තනි අහසට
සැකයකි හෙට ගැන පැතුම් පතන්නට...

මිනිසෙකු ලෙස ඉපදී මේ ලෝකෙට
නොපෙනෙන මරණය අරගෙන තුරුලට
යන්නට වෙනවා දිනයක හැමටම
බැහැ එය කිසිදින වළකාලන්නට...

නොමැරයි කියලා සමහරු හිතුවට
ධනයෙන් බලයෙන් බැහැ නම්මන්නට
අප මෙහි ආවෙත් පණ ගෙන කුලියට
බුදු බණ අදහමු යන්නට නිවනට....

07 December 2012

අම්මා ළග නැතත් පුතේ එපා මේ ලෙසින් හඩන්න.......


ආදරයෙන් බලාගන්න 
තුරුලට ගෙන කවි කියන්න
අම්මා ළග නැතත් පුතේ 
එපා මේ ලෙසින් හඩන්න

අපි හැමදෙන ගැන හිතලා

මහ යස ඉසුරක් පතලා
අකමැත්තෙන් තමයි ගියේ
අහස් යන්තරේ නැගලා

හිතෙන විටදී ළගට පුතේ

එන්නට බැහැ දුරක් ඇතේ
ඇය නැති පාළුව දැනුනට
නාඩන් රත්තරන් පුතේ

07 November 2012

වැරදිකරු...

ඉපදෙන්නත් පෙර  අම්මේ
කොහොමද මම වැරදි කලේ
නුඹෙ කුසතුල සිටි කාලයේ
වද දුන්නද මං අම්මේ....

දු‍ටුව ගමන් මෙලොව එළිය

මේ ලෙස මා විසිකරන්න
නුඹෙ සිතට සවිය ගත්තෙ
කොහොමද මට කියනවාද....

නුඹ අසරණ වෙන්නට ඇති

වෙනකලයුතු දෙයකුත් නැති
මගේ නමට පියෙකුත්
නැති හිනදද අම්මේ....

මම තරහා වෙන්නෙත් නැති,

එහෙම වෙන්න දන්නෙත් නැති
කුනුකූඩෙට නුඹ විසිකල
පුතුමය මම නුඹෙ සදහට....